Wednesday, December 4, 2013

වයධම්මා වයධම්මා හුලා සහ සුධම්මා


පුලස්තිගේ සොදුර ‍සුරේඛා මේ දවස් වල තොරතෝංචියක් නැතිව කථා කොරන්නෙ සුධර්මා ගැන. ධර්මා කියන පදේ අර්ථය වැඩි කරන්න සු යන්නක් ඉස්සරහට දැම්මම හැදෙන වචනය - සුධර්මා. මේ දවස්වල සුරේඛා මේ කථා කරන්නෙ යුගයේ ජනප්‍රියම ආදර අන්දරය ගැන. කෙල්ල - සුධර්මා කොල්ලා - හුලා.

මල මගුලයි. කොල්ලගෙ නම හුලා.මගේ නම පුලා.

රෑට නිදාගන්න ගියාම සුරේඛා පුලාට ඇගිල්ලෙන් අනිනව.

" සුධර්මා හරි නරකයි නේද මෙයා?"

උදේ තේක ඇද ලගට ගෙනත් දෙන ගමන් සුරේඛා මූණ පුලුටු කරගන්නව.

" මොනව උනත් බැදපු ගෑනියෙක්නෙ. නේද මෙයා?"

කොමියුනිකේසන් එකේ වැඩට යන්න ලෑස්ති වෙද්දි පුලාගෙ වටේ දැවටි දැවටී සුරේඛා කන් කෙදිරි ගානව.

" හුලත් බැදපු මිනිහෙක්නෙ. නේද මෙයා?"

කොමියුනිකේසන් එකේ වැඩ කොරන අතර පුලාගෙ ජංගමේට සුරේඛා එස්එම්එස් එවනවා.

" ඔයා හිතනවද ගාමිණීට ඒ දුක උහුලගන්න පුලුවන් ඇති කියලා?" ( කවුද දන්නෙ සුරේඛා?)
" ගාමිණී පවු පුලා. සුධර්මයි ගාමිණීයි රණ්ඩු කොරද්දී හුලා ගෙදර ගාවට පොලිසියෙන් එවනවලු පුලා" ( සාමය කඩ උනොත් සුරේඛා? )
" ඔයා කවදාවත් හුලා වගේ රිලා වැඩ කරන් නැහැ නේද පුලා?" ( ඩෝන්ට් ඉවන් තින්කබවුට් ඉට් සුරේඛා )
" හුලාව රස්සාවෙන් අහක් කරලලු අන්න. හොද වැඩේ ඕකට ‍නේද?" ( ජේසු ජීවමානයි සුරේඛා )

දවස් දෙක තුනක් මේ කියැවිල්ල අහගෙන ඉදල ඉදල අන්තිමේදී පුලස්ති සුරේඛට මේ ගැන තමන්ගෙ ස්ථාවරය පැහැදිලි කළා. දැන් මේ සටහන ටයිප් කොරන්නෙ බ්ලොග් අවකාසයේ සහුර්ද සහුර්දියන් එක්ක මගේ ඒ ස්ථාවරය බෙදා හදා ගන්න.

හුලා - සුධර්මා පෙම් පලහිලවුව ගැන පුලස්ති ගෙඩිගේගේ ස්ථාවරය

එක - හුලයි සුධර්මයි ගාමිණීයි හුලාගෙ බිරින්දැයි කෑවද, බීවද, අහවල් එක කොලාද, ඒක කරද්දි රෙකෝඩ් කලාද, ඒකෙ හඩපටය සුන්දරද, වීඩියොත් කලාද, කලානම් ඒක කවුරු කවුරු හරි නෙට් එකට රිලීස් කරයිද, එතකොට විදුලි සංදේශ නියාමන කොමිෂම තව වැල සයිට් හතර පහක් තහනම් කරයිද? - මේ එකක්වත් පුලස්තිට අදාල නැහැ. ඒව ඒ උන්දැලාගෙ පුද්ගලික වැඩ කිඩ. ගොසිප් කාරයෝ ඇවිත් පුලාගේ පුද්ගලික ජීවිතේට එබිකම් කොරලා ඒවා දාල එක එකා එක්ක ආතල් ගන්නවට පුලා කැමති නැහැ. හුලා ඉන්නෙ රජ මැදුරක. පුලා ඉන්නෙ මුල්ගම්පොල කුලී ගේක. ඒ උනාට පුලාට වගේම හුලාටත් පුද්ගලිකත්වයට අයිතියක් තියෙනව නෙව.

දෙක - මේ හුටපට සේරම අස්සෙ හුලා අධිපතිකම කරපු ජාතික ආරක්සාව ගැන මාධ්‍ය මධ්‍යස්ථානය විසුරුවලා දාල. රජය නිවේදනය කරල දැන් යුදමය තත්වෙ අහවර හින්ද ඒකෙන් ඇති වැඩක් නැහැ කියලා. මගුලයි. යුදමය තත්වෙ ඉවර වෙලා කියල රජයට තේරුනෙ දැන්ද? චීනෙන් ණය අරන් අධිවේගී මාර්ග තැනුවට ආණ්ඩුව හිතන් ඉන්නෙ අධිවේගෙ යන්ඩ සල්ලි නැතිව හීල්ලුවට අපි කොන්ඩෙ බැදපු චීන්නු කියලද?

තුන - නයනා කුමාරියි කුමාර වෙල්ගමයි තුරුලු වෙලා ඉන්න ෆො‍ටෝ එක ජනප්‍රිය උන වෙලාවෙ නයනා කුමාරිගෙ මිනිහගෙන් ඒ ගැන ඉන්ටර්විව් ගන්න වෑයම් නොකරපු දිවයින සුධර්මාගේ මනුස්සයාගෙන් විතරක් ඉන්ටර්විව් ගන්න පෙලඹුණේ මොන එහෙකට ද? හුලාට අදාල දිවයින ගවේසනාත්මක ජනමාධ්‍යවේදය වෙල්ගමට අදාල නැත්තේ මොකද? හුලා බුල කෙලින එක ගැන දිවයිනට මේ එක පාරට හැදුණු අමාරුව මොකක්ද? මේ හුලා ඉස්සර හොද හුලෙක්ද? ජාතිය වෙනුවෙන් දැවැන්ත සේවයක් කරපු ප්‍රකාසක හුලෙක් නේද? එහෙම තොපිම උඩ දාපු එකාට දැන් තොපිම පලු යන්න ගහන්නේ මොකද?

හතර - මේක තමයි කෲසල් පොයින්ට් එක.

හුලා ජාතික ආරක්ෂාව පිලිබද මාධ්‍ය මධ්‍යස්ථානයේ අධිපති. එතකොට හුලා සුධර්මා කැන්දන් යන්න ගාමිණීගේ ගෙදර ගාවට එද්දී ආරක්සක අංසෙ උන්දැලා ගාඩ් එක දාගෙන පිරිවර සමග එනව. හුලාට ලවු සීන් කොරන්න අවස්‍ය ආරක්සාව සපයනව. හුලාගෙ පෙම්වතී එක්ක පෙම්වතීගේ මනුස්සයා අඩ දබර කොරද්දි සමූහ වසයෙන් ගිහින් ගෙදර වටලනවා.

හමුදාව පොලිසිය තියෙන්නේ මොකට කියලද 10 වසර සමාජ අධ්‍යයනය පාඩමට ඉගැන්නුවේ සහුර්දයිනි? ජාතික ආරක්සාවට. මහජන ආරක්සාවට.

මිනිස්සුන්ගේ ලවු සීන් වලට ආරක්සාව සපයන එක හමුදාවෙ පොලිසියේ ඇස්ටීඇෆ් එකේ වැඩක්ද?

පුලා සුරේඛගෙ පස්සෙ යන කාලෙ සුරේඛගෙ අයියල දෙන්න ( එකෙක් දෙයියන්නෙවෙල ජයන්ත. අනෙකා දෙයියන්නෙවෙල ශාමින්ද. පපුව හයයි හයයි. උස හයයි දෙකයි. මහත දෙහෙත දැක්කම කකුල් වෙවුලන මැර පොරවල් ) මේ ඩබල පුලාගෙන් ගේම ඉල්ලන වංගියේ - පුලාගෙ ලවු සීන් එකට ආරක්සාව සපයන්න මුල්ගම්පොල පොලිසියෙන් ආවද?

රතුපස්වල මිනිස්සු බොන්න වතුර ඉල්ලලා උද්ගෝසනය කොරන කොට වෙඩි තියල තුන් දෙනෙක් බෑව්වෙ මේ හමුදාව / පොලොසිය. රතුපස්වල බුවාලා මහජනතාව නෙමෙයිද? මහජන ආරක්සාව නම් හමුදාවෙ ඩියුටිය මහජනයාට වෙඩි තියන්නෙ මොකටද? ජාතික ආරක්සාව නම් හමුදාවෙ ඩියුටිය ජාතියට අයිති මිනිස්සුන්ට වෙඩි තියන්නෙ මොන එකටද? රතුපස් වල බුවාල ශ්‍රී ලාංකිකයො නෙමෙයිද?

ධම්මික පෙරේරත් එක්ක රතුපස්වල නෝමල් ඩයල් හැපෙද්දි පොලිසිය/ හමුදාව ආරක්සා කරන්නෙ ධම්මික පෙරේරව.
නෝමල් ඩයල් එකක් වෙච්ච පුලා ලවු කොරන්න කට්ට කද්දි නොසපයන ආරක්සාව හුලා අන්තර් කුටුම්භ සංචරණයේ යෙදෙද්දී මදි නොකියන්න සැපයෙනව.

හුලාගෙයි පුලාගෙයි වෙනස මොකක්ද? හුලා ප්‍රභූවරයෙක්. පුලා නිකම්ම නිකම් මුල්ගම්පොල බයියෙක්.
ධම්මක පෙරේරගෙයි රතුපස්වල උන්දැලගෙයි වෙනස මොකක්ද? ධම්මික ප්‍රභූවරයෙක්. ධනවතෙක්. වෙඩි කාල මැරුණු උන්දැලා පුලා වගේම නිකම්ම නිකම් බයියො කීප දෙනෙක්.

ආරක්සා කොරන්නේ මහජනතාව කිවුවට පොලිසිය/ හමුදාව ඇත්තටම ආරක්සා කොරන්නෙ හුලා ධම්මික වගේ සුපිරි ගණයේ බුවාල ව නෙමෙයිද?
ආරක්සා කොරන්නේ ජාතිය කිවුවට පොලිසිය/ හමුදාව ඇත්තටම ආරක්සා‍ කොරන්නේ හුලා ධම්මික වගේ ප්‍රභූ ගණයේ බුවාලව නෙමෙයිද?

මහජනතාව කියන්නේ හුලාටද? ජාතිය කියන්නේ හුලාටද? මහජනතාවට පුලා අයිති නැද්ද? ජාතියට පුලා අයිති නැද්ද? හුලා වගේ සිලෙක්ටඩ් පිරිසක් මහජනතාව ඇන්ඩ් ජාතිය වෙන්නයි ඒ මහජනතාවටයි ජාතියටයි පුලා වගේ බුවාල ඇතුලු නොවෙන්නයි හේතුව මොකක්ද?

ඊයෙ රෑ අඩියක් ගහන වෙලාවෙ දත් අස්සෙ හිරවුණ හරක් මස් කෑල්ලක් ගන්න වෑයම් කරන අතරෙ පුලාගෙ අතිජාත මිත්‍ර රූබන් ගණිත කොටා මෙන්න මෙහෙම කිවුවා.

" ජාතිය මහජනතාව කියන්නේ පුලෝ හෙජමොනික සංකල්ප"

ලස්සන වචනයක් නේද?
හෙජමොනිය.

උංගෙ ආරස්සාවට ආයතන සෙට් එකක් හදාගෙන උං කියනව මේව අපි පවත්වං යන්නෙ මහජනතාවයි ජාතියයි රකින්න කියල. ඉතිං මහජනතාව වන පුලා වැනි බුවාලා 'කොච්චර ෂෝක්ද' කියල හිතල මේ ආයතන නඩත්තු කොරන්න බදු සල්ලි ගෙවනව. රතුපස්වලදී වගේ අරුංගෙ මොකක් හරි මගුලකට විරුද්ධ වෙච්ච ගමන් ඒ බදු සල්ලි වලින් ගත්ත උණ්ඩ වලින්ම බදු ගෙවුව උන්ටම වෙඩි තියල දානව. එහෙම වෙඩි තියන ඒව හරි ෂෝයි කියල කියන්න වෙඩි කන උන්ගෙම බදු සල්ලි වලින් ජාතික ආරස්සාව ගැන මාධ්‍ය මධ්‍යස්ථාන හදලා එක එක කුම්භාණ්ඩයොන්ට ඒකෙ ජොබ් දීල තියෙනව. මේ ආයතනවල ඉන්න මොළ හෝද ගත්ත මස්තබාල්දු බුවාලට අපි 'රාලහාමි' කියනව.' රණවිරුවො' කියනව. තමුන් වෙනුවෙන් හදාගත්ත මේ ආයතන වලට අපේ කැමැත්තත් අරගෙන ( අපිට කෙලින්න ඕනෙ උනාම අපිට ඒ ආයතනවලින්ම කෙලලත් දාල ) අරුන් දැහැමෙන් සෙමෙන් ප්‍රීතියෙන් සතුටින් වැජඹෙනව. බිස්නස් කරනවා. අන්තර් කුටුම්භ සංසරණයේ යෙදෙනව.

ලස්සන වචනය. හෙජමොනිය.

සුරේඛා , අපේ කොමියුනිකේසන් එක අපි හෙජමොනික කොමියුනිකේසන් කියල නම් කරමුද?