දෙමලාට තියන සිංහලයාට නැති අමුතු පුරස්නෙ මොකක්ද?සමහරවිට ලෝකෙ ආරම්භ වුනේ කොහොමෙයි කියන පුරස්නෙ ලගට ලංකාවෙ වැඩියෙන්ම අහල තියෙන පුරස්නෙ මේක වෙන්න ඇති.යුද්ධය ගැනයි ජාතින්ගේ පුරස්නෙ ගැනයි මාතෘකාවක් ඇදිල ආව ගමන් නලින් ද සිල්වා ඇදුරුතුමයි,ගු.අමරසේකර මැතිතුමයි,ඇස්.ඇල්.ගුනසේකර මැතිදුයි වගෙ නහුතයක් බුවාල ගත්කටටම කියන්නෙ "හහ් හිංගලයට නැති දෙමලට තියන අමුතු පුරස්නෙ කියහංකො බලන්න" කියන තර්කෙ.නලින් ද සිල්වානන් කියන විදිහට මේ පුරස්නෙට උත්තර දෙන්න දෙමල ජාතිවාදීන්,කසිකබල් මාක්ස්වාදීන්,බංකොලොත් ලිබරල්වාදීන්,ඇන් ජී ඕ කපුටන් - මේ එකෙක්වත් තාම සමර්ථ වෙලා නැහැ.උන්නැහෙට අනුව මේ හින්ද උන්නැහෙ දිනුම්.
යුද්දෙ තිබුන වංගියෙ දෙමල ඈයොන්ට සිංහල ඈයොන්ට ෆේස් කොරන්න නොවෙන අමුතු අමුතු රිද්දිලි වගයක් තිවුන.
හිංගලයෙක්ට ඕනෙ දීපංකරේක අයිඩෙන්ටිය පෙන්නුව ගමන් බය සැක නැතිව ගිය හැකි.ඒත් චෙක් පොයින්ට් වලදි දෙමලා දිහා බැලුනෙ අමුතු විදිහට.පැය විසි හතර පුරාම හිසේ ඉදල පාදාන්තය දක්වාම දෙමලාගේ සරිර දිහා හමුදාවයි පොලිසියයි රාජ්‍යයයි සිංහල සමාජයයි සැකෙන් කුකුසෙන් බැලුව.තුන්සිය හැටපස් දවසෙම තමන් උපන්න රටේ සැකයට ලක්වෙමින් ජීවත් වෙන එක මොනතරම් මානසික පීඩාවක්ද කියන එක ඒ පීඩාවට ලක්වුන අය මිස එහෙම දෙයක් ජීවිතේට අත්නොවින්ද කාර්වලින් සංචාරය කොරමින් දවල්ට ජාතික උරුමය ගැන බන කියල රෑට බියර් එකක් ගහල බුදියන්න යන මහාචාර්ය උතුමන්ලාට තේරෙන්නේ නැහැ.
මචං චිත්‍රපටියෙ රගපාපු දර්ශන් ධර්මරාජ් කියන නලුවා පාරෙ ඇවිදින්න යන අතරෙ පොලිසිය කුදලගෙන ගිය කතාව පුලස්ති අහල තියන ඒත් ගොඩක් දෙනෙක් අහල නැති කතාවක්.කමල් අද්දරආරච්චිට පොලිසියෙ අවුලක් නැතිව කොලඹ පාර දිගේ රෑට යන්න තියන නිදහස දෙමල නලුවෙක් වුන දර්ශන් ධර්මරාජ්ට නැතිවුනෙ ඇයි?.
වතුකරේ ගොඩක් අයට අයිඩෙන්ටි නැහැ.මේ හින්ද වතුකරෙන් පිටට එන එක වතුකරේ ගොඩක් දෙමල අයට ඒ වංගියෙ ලොකු පුරස්නයක් වෙලා තිබ්බ.රස්සාවකට යන්න හැදුවත් සැකකොරල පොලිසියට අරන් යනව.
තමුන් වරදක් කරල නැතිවත් මෙහෙම නිරන්තරයෙන් සැකයට භාජනේ වෙන්න සාමාන්‍ය දෙමල මනුස්සයට සිද්ධ වුනේ ඇයි?උන්නැහෙල දෙමල විදිහට ඉපදුන හින්ද මිස වෙන මොකක්වත් හින්ද නෙමෙයි නේද?
සිල්වාගේ චතුස්කෝටිකේට මේව අහුනොවුනට පුලස්තිගෙ චාටර් ඇන්ටනාවට මේ සීන් එක මීටර්.
මේ කතන්දරේට දෙන්න තියන එක උත්තරයක් තමයි ඒ යුද්ධෙ කාලෙනෙ කියන එක.
යුද්ධ කාලෙක මෙහෙම පීඩාවන් වෙනව ඒක සාමාන්‍යයි ඒක දෙමල මිනිස්සුන්ට විසේස පීඩාවක් නෙමෙයි කියල බොහෝ වෙලාවට කියවුනා.ඒකෙ ඇත්තක් නැතිවාම නෙමෙයි.රට වටේ බෝම්බ පිපිරෙන වෙලාවක සැක පහල කොරන එක නිවැරදිම නොවුනට වලක්වන්න අමාරු දෙයක් කියන එකේ සාධාරනේකුත් තියනව.
ඒත් කචල් එක එන්නෙ මෙතන නෙමෙයි.යුද්ධය හමාර වෙලා රට ත්‍රස්තවාදෙන් මුදාගෙන එක්සත් කොරල එක්සිත් කොරල ඔය වගේ කොරන්න පුලුවන් හැමදේම කොරල දැන් අවුරුද්දකුත් පන්නලා තියනව.
දැන් තියන කතන්දරේ මොකක්ද?
ලක්බිමනිව්ස් පත්තරේ
ඇහැ ගැටුන නිව්ස් අයිටම් එකකින් කියවෙන විදිහට උතුරෙ දෙමල ලමයි පහලොස් දාහක් මේ වෙනකොට ඉගෙන ගන්නෙ ගස්යට.රීසන් එක තමයි ඒ ලමයි හිටපු ඉස්කෝල එක්කො අවතැන් කදවුරු කොරල.නැත්නම් හමුදා කදවුරු කොරල.හමුදා කදවුරු වලට ඉස්කෝල පවර ගන්න හින්ද ගස්යට අකුරු කොරන එක හැර විකල්පයක් මේ ලමයින්ට නැහැ.
ඉන්ටර්නෙට් එකෙන් වැලක් බලල,හම්බෙන දෙයක් කාල,රෑට ඉතින් ඊට පස්සෙ බලල,ෆන් එකේ නිදාගෙන දෙමලට තියෙන අමුතු පුරස්න ගැන අහන මද්දියම පංතියෙ සිංහල බුවාලට වහලයක් සෙවනක් නැතිව ගහක් යට ඉගෙන ගන්න වෙලා තියෙන එකේ ට්‍රැජඩිය නොතේරෙන බව හැබෑව.
ඕමන්තෙයි මධ්‍ය මහා විද්දියාලය අවතැන් කදවුරු වලින් ගම්බිම්වලට එන දෙමල අයව රදවන තාවකාලික මධ්‍යස්ථානයක් කොරල තිවුන.දැන් යුද්දෙ අහවර වෙලා අවුරුද්දක් ගිහිනුත් තාම ඒක අවතැන් මධ්‍යස්තානයක්.කොලඹ ආනන්ද විද්දියාලෙ හමුදා කදවුරක් හරි රැදවුම් මධ්‍යස්ථානයක් හරි කොරල ඒකෙ ලමයින්ට බොරැල්‍ල හරියෙ ගහක් යට ඉගෙන ගනින් කියල කිව්ව නං,කොලඹ රාජකීය විද්දියාලෙ අවතැන් කදවුරක් කොරල හමුදාව දාල "රාජකීය" ලමයින්ට රීඩ් මාවතේ ගස්යට ඉදන් ඒ ලෙවල් කොරන්න කියල කිව්ව නං තත්වෙ කොච්චර ආතල්ද කියල පුලාට හිතෙනව.
මේ පාර අයවැයෙ ආරක්සක වියදම තව වැඩිවෙල තිවුන.උතුරුකරේ හමුදා සංකීර්න හතුපිපෙනව.සෙබල බල මුලු තරවෙනව.ඒවට ආන්ඩුව කෝටි ගනන් යට කොරනව.තමුන්ගෙ ඉස්කෝල හමුදා කදවුරු වෙලා තියෙන අතරෙ උතුරෙ ලමයි ගස් යට ඉගෙන ගන්නව.මේ සේරම මැද්දෙ උතුරෙ දෙමලට ආය මොනවද තියන අමුතු පුරස්නෙ කියල ගු.අමරසේකර සූරින් අපෙන් පන්ඩිතමානීව පුරස්න කොරනව.සිරාවට නේද කියල අපිත් ෆන් එකේ දොයිය ගන්නව.
කොලඹ ඉන්න දෙමල අයව රෙජිස්ටර් කොරන පරන වැඩේ ඊයෙ පෙරේද ආයෙත් පොලිසියෙන් පටන්ගත්ත.
යුද්ධ කාලෙ කිව්වෙ යුද්ධෙ හින්ද කොටි අදුනගන්න රෙජිස්‍ටර් කොරනව කියල.දැනැ යුදදෙකුත් නැහැ.කොටිත් නැහැ.ත්‍රිසිංහලයත් එක්සත්.කොටින්ගෙ නායකය කේපීත් දැන් ආන්ඩුවෙ.උන්නැහෙ ගෝඨාබය රාජපක්ස උන්නැහෙගෙ ගෙදර බුදු පිලිමෙ දැකල වසී වෙලා බුදුන් සරන ගිහින්.
කොටි දමනය වෙලා සේරම කූල් වෙලා උතුරට වසන්තය පායලා සාමයත් උදාවෙලා තියෙන වෙලාවෙ ආයෙ කඩිමුඩියෙ දෙමල අය විතරක් තෝර තෝර රෙජිස්ටර් කොරන්නෙ ඇත්තටම අහවල් එකකටද?
සුදු දකුනු අප්‍රිකාවෙ අගනගරෙ ඉන්න කල්ලන්ව රෙජිස්ටර් කොරපු එකයි,හිට්ලර් යුදෙව්වන්ගෙ පපුවෙ තරු ලකුනු ගස්සපු එකයි කොලඹ දෙමල අය ලේඛනගත කොරන එකයි අතර ඒ තරම් වෙනසක් තියෙනවද?
පීඩනය තිවුනෙ යුද්ධ කාලෙ විතරයි කියන එක තවදුරටත් වලංගු නැහැ වගේ නේද?මේ කරුනු එච්චර හිතට ප්‍රියමනාපත් නැහැ වගේ නේද?දෙමලට ඇති අමුතු පුරස්නයක් නැහැ කොටිත් ඉවරයි යුද්දෙත් ඉවරයි දැන් මේක ආසියාවෙ ආස්චර්යෙ කියල හිතාගෙන බුදියගන්න එක තරම් ඇත්තටම සිද්‍ධ වෙමින් පවතින දේ එච්චරම සුන්දර නැහැ නේද?
පුලා දෙපාර්ශවයකට අනතුරු හගවනව.
එක - සේරම හරි කියල හිතාගෙන ඉන්න සිංහල සමාජෙට.හෙට තමුන්නැහෙලගෙ සුබ සිහින බිදින මරාගෙන මැරෙන බෝම්බකරුවන් අද උතුරෙ ගස්යට ඉගෙන ගන්නව.ඒ අයගෙ ඉස්කෝල තමුන්නැහෙලා පත්කොල ආන්ඩුව පැහැර ගෙන.
දෙක - ලක්බිම නිව්ස් එකේ රතින්ද්‍ර කුරුවිටට.කාටවත් වැඩිය නොතේරෙන කඩ්ඩෙන් ඔය රිපෝට් ලිව්වට කමක් නැහැ.සිංහලෙන් ඕව පත්තරේට දාන්න යන්නෙ බලාගෙන.කන්තෝරු කාමරේ පෝද්දල ජයන්තගෙ පින්තූරෙ ගහගෙන උදේ හවා කරුනාකොරල ජයන්තව සිහි කොරන්න.