Sunday, August 8, 2010

සිංහලයාට නැති දෙමලාට තියන අමුතු පුරස්නෙ මොකක්ද?



දෙමලාට තියන සිංහලයාට නැති අමුතු පුරස්නෙ මොකක්ද?සමහරවිට ලෝකෙ ආරම්භ වුනේ කොහොමෙයි කියන පුරස්නෙ ලගට ලංකාවෙ වැඩියෙන්ම අහල තියෙන පුරස්නෙ මේක වෙන්න ඇති.යුද්ධය ගැනයි ජාතින්ගේ පුරස්නෙ ගැනයි මාතෘකාවක් ඇදිල ආව ගමන් නලින් ද සිල්වා ඇදුරුතුමයි,ගු.අමරසේකර මැතිතුමයි,ඇස්.ඇල්.ගුනසේකර මැතිදුයි වගෙ නහුතයක් බුවාල ගත්කටටම කියන්නෙ "හහ් හිංගලයට නැති දෙමලට තියන අමුතු පුරස්නෙ කියහංකො බලන්න" කියන තර්කෙ.නලින් ද සිල්වානන් කියන විදිහට මේ පුරස්නෙට උත්තර දෙන්න දෙමල ජාතිවාදීන්,කසිකබල් මාක්ස්වාදීන්,බංකොලොත් ලිබරල්වාදීන්,ඇන් ජී ඕ කපුටන් - මේ එකෙක්වත් තාම සමර්ථ වෙලා නැහැ.උන්නැහෙට අනුව මේ හින්ද උන්නැහෙ දිනුම්.

යුද්දෙ තිබුන වංගියෙ දෙමල ඈයොන්ට සිංහල ඈයොන්ට ෆේස් කොරන්න නොවෙන අමුතු අමුතු රිද්දිලි වගයක් තිවුන.
හිංගලයෙක්ට ඕනෙ දීපංකරේක අයිඩෙන්ටිය පෙන්නුව ගමන් බය සැක නැතිව ගිය හැකි.ඒත් චෙක් පොයින්ට් වලදි දෙමලා දිහා බැලුනෙ අමුතු විදිහට.පැය විසි හතර පුරාම හිසේ ඉදල පාදාන්තය දක්වාම දෙමලාගේ සරිර දිහා හමුදාවයි පොලිසියයි රාජ්‍යයයි සිංහල සමාජයයි සැකෙන් කුකුසෙන් බැලුව.තුන්සිය හැටපස් දවසෙම තමන් උපන්න රටේ සැකයට ලක්වෙමින් ජීවත් වෙන එක මොනතරම් මානසික පීඩාවක්ද කියන එක ඒ පීඩාවට ලක්වුන අය මිස එහෙම දෙයක් ජීවිතේට අත්නොවින්ද කාර්වලින් සංචාරය කොරමින් දවල්ට ජාතික උරුමය ගැන බන කියල රෑට බියර් එකක් ගහල බුදියන්න යන මහාචාර්ය උතුමන්ලාට තේරෙන්නේ නැහැ.
මචං චිත්‍රපටියෙ රගපාපු දර්ශන් ධර්මරාජ් කියන නලුවා පාරෙ ඇවිදින්න යන අතරෙ පොලිසිය කුදලගෙන ගිය කතාව පුලස්ති අහල තියන ඒත් ගොඩක් දෙනෙක් අහල නැති කතාවක්.කමල් අද්දරආරච්චිට පොලිසියෙ අවුලක් නැතිව කොලඹ පාර දිගේ රෑට යන්න තියන නිදහස දෙමල නලුවෙක් වුන දර්ශන් ධර්මරාජ්ට නැතිවුනෙ ඇයි?.
වතුකරේ ගොඩක් ‍අයට අයිඩෙන්ටි නැහැ.මේ හින්ද වතුකරෙන් පිටට එන එක වතුකරේ ගොඩක් දෙමල අයට ඒ වංගියෙ ලොකු පුරස්නයක් වෙලා තිබ්බ.රස්සාවකට යන්න හැදුවත් සැකකොරල පොලිසියට අරන් යනව.
තමුන් වරදක් කරල නැතිවත් මෙහෙම නිරන්තරයෙන් සැකයට භාජනේ වෙන්න සාමාන්‍ය දෙමල මනුස්සයට සිද්ධ වුනේ ඇයි?උන්නැහෙල දෙමල විදිහට ඉපදුන හින්ද මිස වෙන මොකක්වත් හින්ද නෙමෙයි නේද?
සිල්වාගේ චතුස්කෝටිකේට මේව අහුනොවුනට පුලස්තිගෙ ‍චාටර් ඇන්ටනාවට මේ සීන් එක මීටර්.

මේ කතන්දරේට දෙන්න තියන එක උත්තරයක් තමයි ඒ යුද්ධෙ කාලෙනෙ කියන එක.
යුද්ධ කාලෙක මෙහෙම පීඩාවන් වෙනව ඒක සාමාන්‍යයි ඒක දෙමල මිනිස්සුන්ට විසේස පීඩාවක් නෙමෙයි කියල බොහෝ වෙලාවට කියවුනා.ඒකෙ ඇත්තක් නැතිවාම නෙමෙයි.රට වටේ බෝම්බ පිපිරෙන වෙලාවක සැක පහල කොරන එක නිවැරදිම නොවුනට වලක්වන්න අමාරු දෙයක් කියන එකේ ‍සාධාරනේකුත් තියනව.

ඒත් කචල් එක එන්නෙ මෙතන නෙමෙයි.යුද්ධය හමාර වෙලා රට ත්‍රස්තවාදෙන් මුදාගෙන එක්සත් කොරල එක්සිත් කොරල ඔය වගේ කොරන්න පුලුවන් හැමදේම කොරල දැන් අවුරුද්දකුත් පන්නලා තියනව.
දැන් තියන කතන්දරේ මොකක්ද?

ලක්බිමනිව්ස් පත්තරේ ඇහැ ගැටුන නිව්ස් අයිටම් එකකින් කියවෙන විදිහට උතුරෙ දෙමල ලමයි පහලොස් දාහක් මේ වෙනකොට ඉගෙන ගන්නෙ ගස්යට.රීසන් එක තමයි ඒ ලමයි හිටපු ඉස්කෝල එක්කො අවතැන් කදවුරු කොරල.නැත්නම් හමුදා කදවුරු කොරල.හමුදා කදවුරු වලට ඉස්කෝල පවර ගන්න හින්ද ගස්යට අකුරු කොරන එක හැර විකල්පයක් මේ ලමයින්ට නැහැ.
ඉන්ටර්නෙට් එකෙන් වැලක් බලල,හම්බෙන දෙයක් කාල,රෑට ඉතින් ඊට පස්සෙ බලල,ෆන් එකේ නිදාගෙන දෙමලට තියෙන අමුතු පුරස්න ගැන අහන මද්දියම පංතියෙ සිංහල බුවාලට වහලයක් සෙවනක් නැතිව ගහක් යට ඉගෙන ගන්න වෙලා තියෙන එකේ ට්‍රැජඩිය නොතේරෙන බව හැබෑව.
ඕමන්තෙයි මධ්‍ය මහා විද්දියාලය අවතැන් කදවුරු වලින් ගම්බිම්වලට එන දෙමල අයව රදවන තාවකාලික මධ්‍යස්ථානයක් කොරල තිවුන.දැන් යුද්දෙ අහවර වෙලා අවුරුද්දක් ගිහිනුත් තාම ඒක අවතැන් මධ්‍යස්තානයක්.කොලඹ ආනන්ද විද්දියාලෙ හමුදා කදවුරක් හරි රැදවුම් මධ්‍යස්ථානයක් හරි කොරල ඒකෙ ලමයින්ට බොරැල්‍ල හරියෙ ගහක් යට ඉගෙන ගනින් කියල කිව්ව නං,කොලඹ රාජකීය විද්දියාලෙ අවතැන් කදවුරක් කොරල හමුදාව දාල "රාජකීය" ලමයින්ට රීඩ් මාවතේ ගස්යට ඉදන් ඒ ලෙවල් කොරන්න කියල කිව්ව නං තත්වෙ කොච්චර ආතල්ද කියල පුලාට හිතෙනව.
මේ පාර අයවැයෙ ආරක්සක වියදම තව වැඩිවෙල තිවුන.උතුරුකරේ හමුදා සංකීර්න හතුපිපෙනව.සෙබල බල මුලු තරවෙනව.ඒවට ආන්ඩුව කෝටි ගනන් යට කොරනව.තමුන්ගෙ ඉස්කෝල හමුදා කදවුරු වෙලා තියෙන අතරෙ උතුරෙ ලමයි ගස් යට ඉගෙන ගන්නව.මේ සේරම මැද්දෙ උතුරෙ දෙමලට ආය මොනවද තියන අමුතු පුරස්නෙ කියල ගු.අමරසේකර සූරින් අපෙන් පන්ඩිතමානීව පුරස්න ‍කොරනව.සිරාවට නේද කියල අපිත් ෆන් එකේ දොයිය ගන්නව.

කොලඹ ඉන්න දෙමල අයව රෙජිස්ටර් කොරන පරන වැඩේ ඊයෙ පෙරේද ආයෙත් පොලිසියෙන් පටන්ගත්ත.
යුද්ධ කාලෙ කිව්වෙ යුද්ධෙ හින්ද කොටි අදුනගන්න රෙජිස්‍ටර් කොරනව කියල.දැනැ යුදදෙකුත් නැහැ.කොටිත් නැහැ.ත්‍රිසිංහලයත් එක්සත්.කොටින්ගෙ නායකය කේපීත් දැන් ආන්ඩුවෙ.උන්නැහෙ ගෝඨාබය රාජපක්ස උන්නැහෙගෙ ගෙදර බුදු පිලිමෙ දැකල වසී වෙලා බුදුන් සරන ගිහින්.
කොටි දමනය වෙලා සේරම කූල් වෙලා උතුරට වසන්තය පායලා සාමයත් උදාවෙලා තියෙන වෙලාවෙ ආයෙ කඩිමුඩියෙ දෙමල අය විතරක් තෝර තෝර රෙජිස්ටර් කොරන්නෙ ඇත්තටම අහවල් එකකටද?
සුදු දකුනු අප්‍රිකාවෙ අගනගරෙ ඉන්න කල්ලන්ව රෙජිස්ටර් කොරපු එකයි,හිට්ලර් යුදෙව්වන්ගෙ පපුවෙ තරු ලකුනු ගස්සපු එකයි කොලඹ දෙමල අය ලේඛනගත කොරන එකයි අතර ඒ තරම් වෙනසක් තියෙනවද?
පීඩනය තිවුනෙ යුද්ධ කාලෙ විතරයි කියන එක තවදුරටත් වලංගු නැහැ වගේ නේද?මේ කරුනු එච්චර හිතට ප්‍රියමනාපත් නැහැ වගේ නේද?දෙමලට ඇති අමුතු පුරස්නයක් නැහැ කොටිත් ඉවරයි යුද්දෙත් ඉවරයි දැන් මේක ආසියාවෙ ආස්චර්යෙ කියල හිතාගෙන බුදියගන්න එක තරම් ඇත්තටම සිද්‍ධ වෙමින් පවතින දේ එච්චරම සුන්දර නැහැ නේද?

පුලා දෙපාර්ශවයකට අනතුරු හගවනව.
එක - සේරම හරි කියල හිතාගෙන ඉන්න සිංහල සමාජෙට.හෙට තමුන්නැහෙලගෙ සුබ සිහින බිදින මරාගෙන මැරෙන බෝම්බකරුවන් අද උතුරෙ ගස්යට ඉගෙන ගන්නව.ඒ අයගෙ ඉස්කෝල තමුන්නැහෙලා පත්කොල ආන්ඩුව පැහැර ගෙන.
දෙක - ලක්බිම නිව්ස් එකේ රතින්ද්‍ර කුරුවිටට.කාටවත් වැඩිය නොතේරෙන කඩ්ඩෙන් ඔය රිපෝට් ලිව්වට කමක් නැහැ.සිංහලෙන් ඕව පත්තරේට දාන්න යන්නෙ බලාගෙන.කන්තෝරු කාමරේ පෝද්දල ජයන්තගෙ පින්තූරෙ ගහගෙන උදේ හවා කරුනාකොරල ජයන්තව සිහි කොරන්න.

4 comments:

  1. ඔන්න මාසෙකට පස්සෙ වෙල්කම් කිව්වා.
    මේක කියවද්දි මට මතක් උනේ කාලෙකට ඉස්සර සඟරාවක තිබුන 'සැකකාර දෙමලෙකුගෙන් විවෘත ලිපියක්' කියන ලිපිය.(සඟරාව හිරු ද මන්දා)
    කොහොමත් දැන්නං දෙමලට නැති සිංහලයට ඇති ලොකු ප්‍රශ්ණයක් තියෙනවා. ඒ දවස්වල ගත්තු ආතල් එක කන්ටිනියු කරගන්නෙ කොහොමද කියන එක.

    ReplyDelete
  2. මමත් ඔබේ කීම තරමක් දුරට අනුමත කොරනව. ඕක සිද්ද වෙන්නෙ ඒ ඒ කාල පරාසයන්ට අනුව.
    උදාහරණයකට කිව්වොත් .... 88 / 93 භීෂණ කාලෙ සිංහලයටත් අර විදිහට නිදහසේ පාරෙ යන්න බැරි සයිස් එකක් තිබුණ. කොයි වෙලේ අතුරුදහන් වෙන්ට ලැබේවිද කියන බයෙන් තමා උනුත් හිටියෙ. නමුත් දෙමලු ඒ කාලෙ එහෙම ප්ර්ශ්ණ වලට මුහුණ දුන්නෙ නෑ. මොකද දෙමලු වැඩි වශයෙන් ජේ.වී.පී කාරයො නොවුණ නිසා.
    අනිත් එක.. ඒ කාලෙත් .. මේ කාලෙත් .. දෙමලට ලංකාවෙ ඕනෑම තැනකින් ඉඩම් ම්ළදී ගත හැකියි.. මුදල් තිබේනම්.
    නමුත් සිංහලයට එහෙම බෑ. යාපනය ප්රේදේශයෙ තියෙන තේසවලාමෙයි කියන නීතිය අනුව සිංහලයට එහෙ ඉඩම් මිළදී ගත නොහැකියි.
    මුස්ලිම් අයටත් එහෙමයි. ඔවුන්ට ස්ත්රීලන් කීප දෙනෙක් හා විවාහ වීමේ අයිතිය තියෙනව නමුත් සිංහලයට නෑ. සිංහලය එහෙම කළොත් ඔහුව අල්ලා හිරේ දානව.
    එකම රටක නීති කීපයක්. ඒක වැරදියි කියල ඔබට හිතෙන්නෙ නෑ නේද....?
    මෑතදී ඔස්ට්රෙකලියාවෙ අගමැති කරපු ප්රිකාශයක් මතක් කරන්නම්. ඔහු කීවා මේ රට[ඕස්ට්රෙිලියාව] ඉංග්‍රීසි කතා කරන / ක්රිරස්තියානි රටක්. ඕනම ජාතියක, ඕනම ආගමක කෙනෙකුට අපේ රටේ ජීවත් වෙන්න පුලුවන්.. හැබැයි අපේ රටේ නීතියට යටත්ව.
    ඒකෙන් පේනව නීතිය කාටත් පොදු බව. අපේ ජනාධිපති වරයාත් කියන්න ඕන එහෙමයි.
    මේ රට සිංහල , බෞද්ධ රටක්. අනෙක් අයටත් මෙහි ජීවත් විය හැකියි.හැබැයි අපේ රටේ නීතියට යටත්ව.
    එයයි සිදුවිය යුත්තේ. එවිට ඔය ප්රරශ්ණ නැහැ.
    ඔබේ අනෙක් ගැටලුවටත් උත්තර දෙන්නම්...
    දෙමලුන් ගැන විමර්ශණය කිරීම වරදක් නොවේ. ඔවුන් පිළිබඳ සෝදිසියෙන් සිටීම කළ යුතුයි. එසේ නොකළ නිසා තමයි කොටි ප්රමශ්ණය මේ තරම් දුරට ගියෙ.
    ලොව පුරා සිටින දෙමල ඩයස් පෝරාව නැවත කොටි වර්ධනය කොට මේ රට නැවත වියවුල් කිරීමට මාන බලන බව උගතෙකු හැටියට ඔබ නොදන්නවා විය නොහැකියි. ඒ නිසා ටික කලක් යනතුරු විමසිලෙන් සිටීම නිවැරදියි.
    එසේම තමා කළ යුත්තේ.

    ReplyDelete
  3. @ kumaraya

    1.88-93 කාලේ සිංහලයට නිදහසේ යන්න බැරි වුනා කියල කියන්නෙ දකුනෙ තිබුන ජේවිපි කැරැල්ල හින්ද.කැරැල්ල ඉවර වුනාට පස්සෙ එහෙම සිද්දියක් නැහැ.එහෙම නේද?ඒත් මේ ලිපියෙ මූලික ආගියුමන්ට් එකතමයි උතුරෙ කැරැල්ල ඉවර වෙලා සෑහෙන කාලයක් ගිහින්.ඒත් ප්‍රශ්නයි පීඩනයයි අඩු වෙනව වෙනුවට තව වැඩිවෙනව.මේ පරස්පරය ලිහාගන්නෙ කොහොමෙයි?

    2.තේසවලමෛ ගැන ඔබතුමාට තියෙන්නෙ වැරදි අවබෝධයක්.යාපනේ ඉඩම් සිංහලයන්ට මිලදී ගන්න බැහැ කියල එකක් නැහැ.තේසවලමෛ කියන්නෙ උතුරෙ දෙමල අයගෙ පාරම්පරික චාරිත්‍ර.ඒව පවත්වගෙන යන්න ලන්දේසින් ඉංග්‍රීසින් එකග වුනා.ඔතන පූර්වක්ත්‍රය කියල චාරිත්‍රයක් තියනව.ඉඩමක් විකුනද්දි පලවෙනි ඔෆර් එක ඉඩමෙ හවුල් අයිතිකාරයට හෝ බදු හිමියට දෙන්න ඕනෙ කියල.උඩරට නීතිය කියල එකකුත් තියනව.ඒකෙත් සාමාන්‍ය නීතියේ නැති විශේෂ ලක්ෂන තියනව.තේසවලමෛ මුස්ලිම් නීති අහෝසි කොරන්න කියල කියන කටින්ම උඩරට නීතියත් අහෝසි කරන්න කියල කිවනම් සාධාරනයි.පුලා නම් රටටම එක නීති ක්‍රමයක් තියනවට වැඩිය කැමතියි.ඒත් විවිධ ජනවර්ග වල චාරිත්‍රමය වෙනස්කම් හින්ද වැඩේ කොරන එක තමා තරමක් කොම්ප්ලිකේටඩ්

    3.//මේ රට සිංහල , බෞද්ධ රටක්.//

    උතුරු නැගෙනහිර?මම නම් ලගදී යාපනේ ගියා.සිංහල කතාකොරන එකෙක් බෙහෙතකට හොයාගන්න බැහැ.එහෙම තියෙද්දිත් ඒක "සිංහල" "බෞද්ධද"?

    4.//දෙමලුන් ගැන විමර්ශණය කිරීම වරදක් නොවේ. ඔවුන් පිළිබඳ සෝදිසියෙන් සිටීම කළ යුතුයි. එසේ නොකළ නිසා තමයි කොටි ප්රමශ්ණය මේ තරම් දුරට ගියෙ.//

    එහෙනම් සදාකාලිකව ‍දෙමල අයගෙ නිදහස සීමා කොරල රෙජිස්ටර් කරමින් ඉන්න වෙයි.ඇයි කවද කොටි මතුවෙයිද දන්නෙ නැහැනෙ.කොටි පුරස්නෙ දුර ගියෙ තියා ඇතිවුනෙවත් දෙමලුන් ගැන විමර්සනය කොරපු එකේ ගැටලුවක් හින්ද නෙමෙයි.දෙමලුන්ට මිනිස්සු වගේ සලකන්නෙ නැතිව දෙවෙනි පංතියේ සැලකිල්ලක් දක්වපු හින්ද.අහක හිටපු දෙමල අයත් කොටින්ට එක්කහු වුනෙ ආන්ඩුවේ ආසිර්වාදෙ එක්ක කොරපු කලු ජූලි,යාපන චන්ද මංකොල්ල වගේ මගඩි හින්ද.අදත් දෙවෙනි පංතියෙ සැලකිල්ලක් පවත්වගෙන යන සීන් එක හින්ද හෙට ආයෙ වෙන විදිහක ප්‍රභාකරන්ලා මතුවෙන්න පුලුවන්.එදාටත් පාලකයන්ට රජ මගුල්.ඇයි රටේ පුරස්න අමතක කොරවන්න ත්‍රෙට් එකක් පෙන්නන්න පුලුවන්නෙව

    ReplyDelete
  4. අද අපේ රටේ දෙමළාට මුහුණ දෙන්නට සිදුව ඇත්තේ වැඩවසම් සමාජයක පාලක පන්තියට පස මිතුරු වූ (හෝ පසමිතුරු යැයි පාලක පන්තිය සිතන) ගෝත්‍රයකට සිදුවන සාමාන්‍ය ඉරණමයි. පාලනය සඳහා සිස්ටම් එකක් ඇති රටවල මෙවන් ප්‍රශ්න ව්‍යවස්ථානුකූලව හෝ නීති මර්ගයෙන් විසඳා ගත හැකිය. (ඇමරිකාවේ කල්ලන් තම අයිතිවාසිකම් දිනාගත්තේ එහෙමය.) එහෙත් ඒ මට්ටමට ළඟා නොවූ වැඩවසම් සමාජයක එය ඇති කිරීමට ක්‍රමයක් නැත. අඩු ගණනේ රට අර්ධ-වැඩවසම්-අර්ධ-ප්‍රජාතන්ත්‍රවාදී වූ චන්ද්‍රිකා කුමාරතුංග සමයේ මීට එක්තරා මට්ටමකට හෝ සිස්ටම් එක වෙනස් කිරීම තුළින් පිළිතුරු ලබා ගන්නට ඉඩ තිබිණි. නමුත් අද ඇති වැඩවසම් සමාජය තුළ එවන් විකල්පයක් නොවේ. ගෝත්‍රවාදී නයකයකු සිස්ටම් එක වෙනස් කරතැයි කෙසේ නම් බලාපොරොත්තු වෙමුද?

    මෙය දෙමළාගේත් වරදය. රනිල් වික්‍රමසිංහ යුගයේ සාම ක්‍රියාමාර්ගවලට අර්ථාන්විත සහයෝගයක් ලබා ගැනීම මඟින් දෙමළාට තම අභිමානය ආරක්ෂා කරගෙන බලය බෙදා ගැනීමේ විසඳුමකට යන්නට තිබුණේය. ඒ බැරිනම් අඩු තරමින් රාජපක්ෂ වැනි ගෝත්‍රවාදියකු බලයට පත් නොකොට වික්‍රමසිංහ-කුමාරතුංග ඩබල ලවා සිස්ටම් එක ආරක්ෂා කර ගත හැකිව තිබුණේය. (මොවුන් දෙදෙනා සියයට සියයක් නිවැරදි බව මින් නොකියැවේ. නමුත් ඔවුන්ගේ සිස්ටම් එකේ අදට වඩා සාධනීය ලක්ෂණ තිබුණේය.දෙමළාට මීට වඩා බලයක්ද තිබුණේය.) රාජපක්ෂ බලයට එන්නේ දෙමළා නිසාය. ඒ ඉල්ලංකෑම ගැන "කුම්බලා මාළු කෑවානම් විඳවාපන් දෙමළෝ" කියනවාට අමතරව අපට කළ හැකි දේ සීමිතය.

    මේ කියන්නේ ඊට වඩා දෙයක් කරන්නට අප අකැමැති බව නොවේ. කැමැති වුවත් අපට බැරි බවයි.වැඩවසම් පාලනයකදී සාමාන්‍ය විදියට සටන් කර අයිතීන් දිනා ගත නොහැකිය.

    - Taboo

    ReplyDelete